‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී මොකද වුණේ?

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති ධුරයට පත්වු රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වුණේ,

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටය. අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනාවක් කළේය.

 එහෙත් සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුලු පක්ෂ ඊට එකඟතාව පළ නොකළහ.

අනතුරුව ජාතික ආණ්ඩුව පසෙක තබා, ජාතික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා විය.

ඒ අනුව ‘ජාතික සභාවේ’ සමාරම්භක රැස්වීම සැප්තැම්බර් 29 වැනිදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකතුමා පාර්ලිමේන්තුවට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කළේය.

kxnckv


අද ගත්තු තීන්දු හා තීරණ ?

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.

මෙම තීරණ ගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ‘ජාතික සභාවේ’ පළමු රැස්වීමේදී ය.

රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, අමාත්‍ය ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ද මීට එක්විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන 2022.09.20 ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර බෙදීමකින් තොරව එය සම්මත විය.
ඒ අනුව දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා 2022.09.23 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජාතික සභාවේ පළමු රැස්වීමේන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයද ජාතික සභාවේ රැස්වීමට පැමිණ සිටි බවය.

මෙම සුබදායී පණිවුඩය ජාතික වශයෙනුත්, පාර්ලිමේන්තු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහාත්, ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුර‍ටත් තහවුරු වීම සඳහාත් විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවද ඔහු පැවසීය.

සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා ජාතික සභාව රැස්වීමට ද අද (29)පැවති රැස්වීමේදී තීරණය වී තිබේ.


ජාතික සභාවක් මොකටද?

අගමැති දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ, ‘ජාතික සභාව’ පිහිටුවීමේ යෝජනාව විරෝධතාවයකින් තොරව පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනය වන පරිදි ‘ජාතික සභාව’ පිහිටුවනු ලැබේ.

මේ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට 3ක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුන අතර එහිදී මේ සඳහා සියලු පක්ෂවල එකඟතාව ලැබිණි.

මෙම යෝජනාව පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ‘ජාතික සභාවේ’ අධිකාර බලය සහ පොදු වගකීම් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.


# කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම, ඉන් එකකි.

# ආර්ථික ස්ථායීකරණයට කෙටි කාලීන එකඟතාවයන් ඇති කිරීම සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම, තවත් වගකීමකි.

# අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමද මීට පැවරේ.

# ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද ‘ජාතික සභාව’ ට හිමිවේ.

# මෙහි ප්‍රධානත්වය කථානායකවරයාට හිමිවන අතර අග්‍රාමාත්‍යතුමා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස්පහකට (35) නොවැඩි සංඛ්‍යාවක් ජාතික සභාවේ සාමාජිකයෝ වෙති.


ජාතික සභාවට පක්ෂ තුනක් නැහැ

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණු ‘ජාතික සභාව’ මංගල රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය සහ  දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගී නොවීම විශේෂත්වයකි.

ජාතික සභාව රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සහභාගී වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ලයි.

විපක්ෂ නායකවරයා වෙනත් හදිසි කටයුත්තක නියැලී සිටි හෙයින් තමාට එම රැස්වීමට සහභාගී වන්නැයි ඔහු දැනුම් දුන් බව කිරිඇල්ල සඳහන් කළේය.


(උපුටා ගැනීම් – BBC සිංහල සේවය)

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *